විහාර දේවාලගම්
විහාරස්ථාන ලියාපදිංචි කිරීම.
විහාරස්ථාන ලියාපදිංචි කිරීමේදී දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන විහාරස්ථාන ලියාපදිංචි කිරීමේ අයදුම්පත විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් සම්පූර්ණ කර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක/සංවර්ධන නිලධාරි විසින් විහාරස්ථානයක් ලෙස ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අයදුම්පතෙහි සංක්ෂිප්ත වාර්තාවක් සමග ඉදිරිපත් කළ යුතු අතර එසේම අදාළ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ස්වාමින් වහන්සේගේ සහ ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය ද ලබා ගනිමින් විහාරස්ථානය අයත් නිකාය පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේ වෙතින් විහාරාධිපතිත්වය තහවුරු කිරීමේ ලිපියක් සමග ඉදිරිපත් කළ යුතුය.
විහාරාධිපති ධූර පිළිගැනීමේ කටයුතු.
විහාරස්ථානයක් ලියාපදිංචි කිරීමෙන් පසු සිදු කරනු ලබන විහාරාධිපති වෙනස් වීමකදී උදාහරණයක් වශයෙන් පෙර විහාරාධිපති ස්වාමින් වහන්සේ අපවත් වූ විට,වෙනත් ස්වාමින් වහන්සේ නමකට විහාරාධිපති ධුරය පැවරීමක් සිදු කරන අවස්ථාවකදී අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේ විසින් සිදු කරනු ලබන විහාරාධිපති පත් කිරීම් වලදී විහාරාධිපති ධුර පිළිගත් බව දැනුම්දීම සඳහා විහාරාධිපති ලෙස පත් වූ ස්වාමින් වහන්සේ, ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය බෞද්ධ කටයුතු කාර්යාලය,බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සංවර්ධන සහ තොරතුරු අංශවලටද පිටපත් සහිතව අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේ වෙත ලිපියක් නිකුත් කරනු ලබයි.
විහාර දේවාලගම් පනතේ 4 (1) පාලනයේ පවතින විහාරස්ථාන හා දේවාලයන්හි භාරකාර පත්වීම් හා ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිළමේවරුන් පත් කිරීම.
1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනතේ 7 වගන්තිය යටතේ ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ පත් කරනු ලබන අතර ඔහුගේ ධුර කාලය වසර 10ක් වේ.එසේම යථෝක්ත ආඥා පනතේ 8 වගන්තිය අනුව බස්නායක නිලමේ පත් කරනු ලබන අතර ඔහුගේ ධුර කාලය වසර 05ක් වේ.බස්නායක නිලමේ වරයෙකුගේ නිල කාලය අවසන් වූ පසු අතිගරු ජනාධිපතිතුමා වෙත වර්ෂය බැගින් ධුර කාලය දෙවරක් දීර්ඝ කිරීමේ හැකියාව පවතින අතර නිල කාලය අවසන් වූ පසු නිලවරණයක් පවත්වා දියවඩන නිලමේ,බස්නායක නිලමේ තනතුර සඳහා පුද්ගලයන් තෝරා පත්කරගනු ලැබේ.
විහාරස්ථානයක භාරකාරවරයෙකු පත් කිරීමේදී විහාර දේවාලගම් ආඥා පනතේ 10 වන වගන්තිය යටතේ පත් කිරීම් සිදු කරනු ලබන අතර එහිදී විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් භාරකාරධුරය සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු වසර පහක් සඳහා පත් කිරීම සිදු කරනු ලබන අතර භාරකාර ධුරය සඳහා විහාරාධිපති ස්වාමින් වහන්සේට ද පත්විය හැකිය.
යථෝක්ත දියවඩන නිලමේ,බස්නායක නිලමේ සහ භාරකාර ධුරය වෙනුවෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මුදලින් ඇප තැන්පත් කළ යුතුය.එහිදී අදාල සිද්ධස්ථානයේ ආසන්නතම වර්ෂයට අදාළ අර්ධ වාර්ෂික අයවැය වාර්තාවන්හි ආදායම් ශීර්ෂයෙහි එකතුවෙන් 5% ක ප්‍රමාණයක් ඇප මුදල වශයෙන් තැබිය යුතු වේ.
විහාර දේවාලගම් පනතේ 4(1) වගන්තිය යටතේ පාලනය වන සිද්ධස්ථාන වල අනුමාන අයවැය හා අර්ධ වාර්ෂික අයවැය ගෙන්වා ගැනීම හා වත්කම් ලේඛන සකස් කිරීම භාරකාර සිද්ධස්ථාන වල කටයුතු විගණනය සඳහා යොමු කිරීම.
විහාර දේවාලගම් ආඥා පනතේ 4(1) වගන්තිය යටතේ පාලනය වන සිද්ධස්ථානයන් වෙත දෙපාර්තමේන්තුව විසින් යොමු කරන ලද අනුමාන අයවැය වාර්තාව ඉදිරි වර්ෂයට අදාළව අදාළ සිද්ධස්ථානයේ දියවඩන නිලමේ, බස්නායක නිලමේ සහ භාරකාරතැන විසින් සකස් කර දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතු වේ. එසේම මාස හයකට වරක් එම වර්ෂයේ සත්‍ය ආදායම් වියදම් ඇතුළත් කරමින් අර්ධ වාර්ෂික අයවැය වාර්තාවන් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සිදු කළ යුතු වේ.
සිද්ධස්ථානයන්හි දේපල සම්බන්ධ තොරතුරු ඇතුළත් කරමින් දෙපාර්තමේන්තුව මගින් වත්කම් ලේඛන සකස් කරනු ලබන අතර එහි පිටපතක් දෙපාර්තමේන්තුවට ද අදාළ සිද්ධස්ථානයේ දියවඩන නිලමේ, බස්නායක නිලමේ සහ භාරකාරතැන වෙත භාර දෙනු ලැබේ.එසේ වත්කම් ලේඛනයක් සකස් කිරීම තුළින් එම ධුර සඳහා පත්වන පුද්ගලයන් සඳහා භාණ්ඩ,ලිපිගොනු ආදිය භාර දීමේදී විනිවිදභාවයෙන් සිදු කළ හැකි වේ.
භාරකාර සිද්ධස්ථානවල විගණන කටයුතු සිදු කිරීම තුළින් අක්‍රමිකතා වළක්වා ගැනීමටත් විනිවිදභාවයකින් සිද්ධස්ථානයේ පරිපාලන හා මූල්‍ය කටයුතු පවත්වා ගැනීමට අවශ්‍ය උපදෙස් හා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමටත් හැකියාව ලැබේ.එසේම තම වගකීම පැහැර හරින අවස්ථාවලදී අදාළ දියවඩන නිලමේ, බස්නායක නිලමේ සහ භාරකාරතැන ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමටද විගණන පරීක්ෂණවලදී හැකියාව ලැබේ.
විහාර දේවාලගම් පනතේ 4(1) වගන්තිය යටතේ පාලනය වන සිද්ධස්ථානයන්හි පඬුරු මුදල් බැංකු ගත කිරීමේ අධීක්ෂණ කටයුතු
විහාර දේවාලගම් ආඥා පනතේ 4(1) වගන්තිය යටතේ පාලනය වන ආදායම් ලබන සිද්ධස්ථානයන්හි පඬුරු මුදල් ගණනය කිරීමේ සහ බැංකුගත කිරීමේ කටයුතු අධීක්ෂණය සඳහා දෙපාර්තමේන්තු නිලධාරින් සහභාගී වේ.එහිදී එම පඬුරු මුදල් ගණනය කිරීම සහ බැංකුගත කිරීමේ කටයුතු විධිමත්ව සහ විනිවිදභාවයකින් සිදු කිරීම මෙහි අරමුණ වන අතර එම පඬුරු මුදල් ආදායම් වාර්තාවන්හි එක් පිටපතක් දෙපාර්තමේන්තුවේ ද ගොනු ගත කරනු ලබයි.
සිද්ධස්ථාන සතු ඉඩම් බදු දීමේ කටයුතු.
සිද්ධස්ථාන සතු ඉඩම් බදු දීමේදී විහාර දේවාලගම් ආඥා පනතේ 29 වගන්තිය අනුව බදු දීම් කටයුතු සිදු කරනු ලබයි.එහිදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ලබාදෙනු ලබන බදු අයදුම්පත සම්පූර්ණ කර බදු ලබා දෙන ඉඩමේ පිඹුරේ පිටපතක් සහ බදු ගැනුම්කරුගේ හැඳුනුම්පතෙහි පිටපතක් සමග දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව බදු ගන්නා කාර්යය අනුව ප්‍රාදේශීය ලේකම් වාර්තාව, තක්සේරු දෙපාර්තමේන්තුවේ වාර්තාව සහ අනෙකුත් අදාළ ආයතනයන්හි වාර්තාවල නිර්දේශ අනුව බදු දීමේ කටයුතු සිදු කරනු ලබයි.එහිදී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ගේ අත්සනින් යුතුව බදු ඔප්පු සකස් කරනු ලබයි.එසේම බදු දීමේදී වර්ෂ 05 කට වරක් ප්‍රදේශයේ පවතින මිල ගණන් අනුව බදු මුදල සංශෝධනය කිරීම ද සිදු කරනු ලබයි.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීම.
සිද්ධස්ථානයක පවතින ලියාපදිංචිය, විහාරාධිපති ධුරය, ඉඩම් ආදී සිද්ධස්ථානය සම්බන්ධව ගැටළු පිළිබඳව නඩුවක් අධිකරණයේදී විභාග වන අවස්ථාවලදී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වෙනුවෙන් අදාළ අධිකරණයේ පෙනී සිටීම සිදු කරනු ලබයි.
සෙසු කාර්යයන්
01. විහාරාධිපති ධූරය සංශෝධනයන් සිදුකිරීම.
02. අපවත් වූ ස්වාමීන් වහන්සේලා සතු වූ බැංකු මුදල් අදාළ විහාරස්ථානයන්හි සංවර්ධන කටයුතු සඳහා නිදහස් කිරීම.
03. විහාරස්ථාන හා දේවාල සන්තක ඉඩම්වල ගස් කැපීම හා විකිණීමට අනුමැතිය ලබා දීම.
04. පූජා ඔප්පු සඳහා නිර්දේශ ලබා දීම.
05. අපවත් වූ ස්වාමීන් වහන්සේලාගේ වාහන පැවරීම් කටයුතු.
06. භික්ෂූන් වහන්සේලා විසින් පෞද්ගලික මිලදීගත් දේපල අදාළ ඉල්ලීම් මත සඟසතු නොවන බව දැනුම් දීම.
07. වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සතු ඉඩම් වල පවත්වාගෙන යනු ලබන ආරණ්‍ය සේනාසන සඳහා නිර්දේශ ලබා දීම.
08. මැණික් පතල් බලපත්‍ර සඳහා නිර්දේශ ලබා දීම.
09.සිද්ධස්ථාන සතු ඉඩම් වෙනුවෙන් හිමි මහා භාරකාර දෙපාර්තමෙන්තුවේ තැන්පත් වන්දි මුදල් අදාළ සිද්ධස්ථානයන්හි සංවර්ධන කාර්යයන් වෙනුවෙන් නිදහස් කිරීමට අදාළ රාජකාරි.
10.මහා භාරකාර දෙපාර්තමේන්තුවේ තැන්පත් විවිධ භාරයන්හි පොලී මුදල් එම සිද්ධස්ථානයේ පරිපාලන කටයුතු සහ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් නිදහස් කිරීමට අදාළ කටයුතු.