Department of Buddhist Affairs
කුසලස්ස උපසම්පදා - 04

කුසලස්ස උපසම්පදා - 04

නවක උපසම්පදා ස්වාමින් වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහන යටතේ 4 වන අදියර පසුගිය දා පැවැත්විය. පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානයේදී 2022 ජුනි 18 සිට 24 දක්වා පැවැති වැඩසටහනට ස්වාමින් වහන්සේ 80 ක් සහභාගි විය. අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකාය යටතේ උපසම්පදා සීලයෙහි පිහිට වූ භික්ෂූන් වහන්සේ විෂයෙහි පවත්වන ලද පුහුණු වැඩසටහන දේශන මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරම්වලින් සමන්විත විය.

විශේෂ විහාර චාරිකා වැඩසටහන මහරගම සිරි වජිරඥාන ධර්මායතන පරිශ්‍රයේදී පවත්වන ලදි. එම අවස්ථාවට පූජ්‍ය මහරගම ධම්මසිරි නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙන්ම දායක කාරකාදීන් පිරිසක් සහභාගි විය. 

සමාප්ති උත්සවය පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානයේදී 2022 ජුනි 24 දින පවත්වන ලදි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධූරන්ධර අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි මහානායක ස්වාමින් වහන්සේ, අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ මහානායක ධූරන්ධර අතිපුජ්‍ය අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මහානායක ස්වාමින් වහන්සේ, අමරපුර සිරි සුමන පාර්ශ්වයේ මහානායක ධූරන්ධර අතිපූජ්‍ය කොළොන්නාවේ සිරි සුමංගල මහානායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, බෞද්ධ කටයුතු කොමසාරිස් ( විහාර දේවාලගම් ) සහන් කුරුප්පු මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සමාප්ති උත්සවය සඳහා සම්බන්ධ විය.

උතුම් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරවීමේ පිංකම

උතුම් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරවීමේ පිංකම

ශ්‍රී බුද්ධ වර්ෂ 2330 ( 2022) පොසොන් මහෝත්සවය නිමිත්තෙන් යාපනය ශ්‍රී නාග විහාරස්ථානයේ දී උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරවීමට ජාතික උරුමයන් සුරැකීමේ සංවිධානය කටයුතු සංවිධානය කර ඇත. එම උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේට 2022.06.10 දින කොළඹ 07 බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ පරිශ්‍රයේදී පූජෝපහාර දැක්වීමක් සිදුවිය.

මෙම උතුම් පිකංමට  බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමා, අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ පෙරවරු 8.00 ට කොළඹ 02 ගංගාරාම විහාරස්ථ බේරේ වැව සීමාමාලකය වෙත පෙරහරින් වැඩමවා වඩා හිඳුවා විශේෂ පූජෝපහාර දැක්වීමක් ද සිදුකළේය. මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේ, හුණුපිටිය ගංගාරාමාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ ඇතුළු මහාසංඝරත්න වැඩම කරවීමෙන් විශේෂ පූජෝපහාර වැඩසටහන සිදුකරන ලදි. 

අභිනව ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා වැඩ භාරගනී

අභිනව ලේකම්  සෝමරත්න විදානපතිරණ මහතා වැඩ භාරගනී

සෝමරත්න විදානපතිරණ මහතා අද ( 2022.05.25) දින කොළඹ 07 ශ්‍රීමත් අනගාරි ධර්මපාල මාවතේ පිහිටි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අභිනව ලේකම් ලෙසින් වැඩභාර ගත්තේය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙසින් විදානපතිරණ මහතා මන්නාරම, වව්නියා හා ගාල්ල දිස්ත්‍රික් ලේකම් ලෙස ද  වනජීවී හා වන සම්පත් රක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙසින් සිය රාජකාරි කටයුතු ඉටුකොට ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන විදානපතිරණ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණකරන උපාධිය හා කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධිධරයෙකි.

මෙම අවස්ථාවට කොළඹ නව කෝරළේ ප්‍රධාන අධිකරණ සංඝ නායක අතිපූජ්‍ය දිවියාගහ යසස්සී නායක ස්වාමින් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරු ආශිර්වාද කළහ.  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමා ඇතුළු අමාත්‍යාංශය යටතේ ඇති සියලු දෙපාර්තමේන්තු, ආයතන ප්‍රධානීන් හා සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ශ්‍රි බුද්ධ වර්ෂ 2566 වන වෙසක් පුණ්‍යමහෝත්සවය - වෙසක් සතිය - 2022 මැයි මස 12 සිට මැයි මස 18 දක්වා

ශ්‍රි බුද්ධ වර්ෂ  2566 වන වෙසක් පුණ්‍යමහෝත්සවය  - වෙසක්  සතිය - 2022 මැයි මස 12 සිට මැයි මස 18 දක්වා

ශ්‍රී සම්බුදු තෙමඟුල සිහිකරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍යමහෝත්සවය මුල්කරගෙන 2022 වර්ෂයේ මැයි මස 12 සිට මැයි මස 18 දක්වා “වෙසක් සතිය” වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ මඟ පෙන්වීම අනුව බුද්ධශාසන ආගමික හා  සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුලු රාජ්‍ය  හා රාජ්‍ය නොවන ආයතනවල සහය ඇතිව වෙසක් උත්සවය අභිමානවත් අයුරින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ශ්‍රී බුද්ධ වර්ෂ 2566 රාජ්‍ය වෙසක් මහෝත්සවය 2022.05.14 සහ 15 දෙදින රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ කූරගල රජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ. විහාරස්ථාන, දහම් පාසල්, පාසල්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ආශ්‍රිතව ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලවල පූර්ණ මාර්ගෝපදේශකත්වයෙන් අධ්‍යාත්මික සංවර්ධනයට මුල්තැන දෙමින් අර්ථවත් හා ඵලදායි වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

2022.05.12      තිරසර පරිසරයක් සඳහා  බුදු දහම

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ඇසුරින් පරිසර හිතකාමී පුරවැසියන් පිරිසක් බිහිකිරීම සඳහා බුදු දහම හා පරිසරය පිළිබඳ දේශන හා වැඩමුළු පැවැත්වීම, පරිසරය රැකගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විහාරස්ථාන, පාසල්, පොදු ස්ථාන, කාර්යාල, නිවාස ආදිය පිරිසිදු කිරිම, ශ්‍රමදාන පැවැත්වීම, රුක‍් රෝපන වැඩසටහන්, ඔසු උයන් / වන උයන් පිහිටුවීම.

2022.05.13      සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා බුදු දහම 

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සකස් කරගැනීම සඳහා සම්බුදු දේශනාව ඇසුරින් දේශන, වැඩමුළු සම්මන්ත්‍රණ පැවැත්වීම, වස විෂෙන් තොර දේශීය ආහාර භෝග වගා කිරීම හා පරිභෝජනයට උනන්දු කිරීම, නොමිලයේ වෛද්‍ය සායන වැඩසටහන් සංවිධානය කිරීම, ලේ දන්දීමේ වැඩ සටහන්, අක්ෂි සායන ආදිය සංවිධානය, මත්ද්‍රව්‍ය නිවාරණ, දුම්වැටි විරෝධි  වැඩසටහන් සංවිධානය කිරීම.

2022.05.14      බුදු දහමින් පෝෂිත වූ සිංහල සාහිත්‍යය

සිංහල සාහිත්‍යය පිළිබඳව වත්මන් පරපුරට මනා අවබෝධයක් ලබා දීම හා බෞද්ධ දර්ශනය මූලික කරගෙන පෝෂණය වූ සිංහල සාහිත්‍ය පිළිබඳ දහම් පාසල්, පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා සාහිත්‍ය නිර්මාණ සඳහා සිසුන් පෙළඹවීමට වැඩසටහන් පැවැත්වීම. මෙදින කූරගල රජමහා විහාරස්ථානයේ දී රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

2022.05.15  වන දින - සීල භාවනා පිංකම

මෙදින වෙසක් පුර පසළොස්වක පොහෝදිනය බැවින් සෑම විහාරස්ථානයකම සීල භාවනා පිංකම් පැවැත්වීම හා මෙම පිංකම්වලට දහම් පාසල්, පාසල් සිසුන් හා තරුණ පිරිස් සම්බන්ධ කරගැනීම, මෙදින සංගීත සංදර්ශන හා සැණකෙළි ආදිය පවත්වන දිනයක් බවට පත් නොකළයුතු අතර සම්බුදු තෙමඟුල වෙනුවෙන් ප්‍රතිපත්තිමය පූජා පවත්වන පූර්ණ ආගමික දිනයක් වශයෙන් ගත කිරීමට දායක ප්‍රජාව දැනුවත් කරන ලෙසත් මහා සංඝරත්නයෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු.

2022.05.16  බුදු දහමින් පෝෂිත වූ හෙළ කලාව

පැරණි බෞද්ධ කලා ශිල්ප පිළිබඳ මනා අවබෝධයක් ලබා දීමට අවශ්‍ය දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම හා රාත්‍රී කාලයෙහිදී සංස්කෘතික, ආගමික වැඩසටහන් පැවැත්වීම. උදෑසන සදහම් චාරිකා වැඩසටහන් පිණ්ඩපාත පින්කම් හා පස්වරුවේ කලාව හා බුදු දහම පිළිබඳ වැඩසටහන් පැවැත්වීම, දන්සැල් පැවැත්වීම, රාත්‍රි තොරණ, බැතිගී සංදර්ශන, පහන්කූඩු, අධ්‍යාපනික හා පුරාවිද්‍යාත්මක ප්‍රදර්ශන, ජාතක කතා ආශ්‍රයෙන් බෞද්ධ නාට්‍ය පැවැත්වීම. (සැ.යු. කුමන හේතුවක් මත හෝ බුදුරජාණන් වහන්සේට හා බෞද්ධාගමට නිගරු වන ආකාරයේ සංදර්ශන, ක්‍රීඩා ආදිය පැවැත්වීමෙන් වැලකිය යුතු ය.)

2022.05.17      බුදු දහම පදනම් කරගත් වෘත්තීය ජීවිතය

යහපත් වෘත්තිය ජීවිතයක් සඳහා බුදු දහමින් ලැබෙන පිටිවහල සම්බන්ධව සම්මන්ත්‍රණ දේශන ඇතුළත් වැඩසටහන් විහාරස්ථාන හෝ ආයතන මුල් කරගෙන පැවැත්වීම. (ධාර්මික ව්‍යාපාරිකයන් හෝ වෘත්තිකයන් සම්බන්ධ කරගෙන විවිධ වෘත්තීන්හි නියැලෙන අයට දැනුම, අත්දැකීම් ලබා දීම.)

2022.05.18      බුදු දහමින් පෝෂණය වූ ආර්ථික හා සමාජ සංවර්ධනය

ආර්ථික හා සමාජ සංවර්ධනය උදෙසා බුදු දහමින් ලැබෙන පිටිවහල පිළිබඳව දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, ‍බෞද්ධ ප්‍රජාවගේ ආර්ථික මට්ටම ශක්තිමත් කිරීම සඳහා වැඩසටහන් පැවැත්වීම.

මහජනයා දැනුවත් කිරීම සඳහා සියලුම විහාරස්ථාන ඉදිරිපිට හා වෙනත් සුදුසු ස්ථාන තුළ බැනරයක් ප්‍රදර්ශනය කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. එම බැනරයේ පිරිවිතර පහත පරිදි වේ.

බැනරයේ දිග අඩි 08ක් හා පළල අඩි 4ක් විය යුතුය.

බැනරයේ පසුබිම ලා කහ පැහැයෙන් ද අකුරු මෙරූන් පැහැයෙන් ද යුක්ත විය යුතුය.

 

ශ්‍රී බුද්ධ වර්ෂ 2566  රාජ්‍ය වෙසක් මහෝත්සවය

භජේථ මිත්තෙ කල්‍යාණෙ

කළණ මිතුරන් ඇසුරු කරමු)

සම්බුදු තෙමඟුල,සැදැහැ සිතින් සමරමු

වෙසක් සතිය 2022 මැයි මස 12 දින සිට - මැයි මස 18 දක්වා

................................................. ප්‍රාදේශීය ශසනාරක්ෂක මණ්ඩලය

................................................. විහාරස්ථානය

 

2021 දහම් පාසල් 6 – 10 ශ්‍රේණි විභාගය අප්‍රේල් 24

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කොට තිබූ දහම් පාසල් 6 – 10 ශ්‍රේණි විභාගය  රට තුළ පැවති ඇඳිරි නීති තත්ත්වය මත එදින පැවැත්වීමට නොහැකි විය.

මෙම තත්ත්වය සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය සමඟ සාකච්ඡා කළ අතර, ඊට අනුව දහම් පාසල් සඳහා රජයේ පාසල් පද්ධතියට සමගාමීව නිවාඩු ලබාදීමටත්, 2022.04.24 දින නැවත ආරම්භ කිරීමටත් තීරණය කරන ලදි.

ඒ අනුව නැවත දහම් පාසල් ආරම්භ කරන 2022.04.24 දින දහම් පාසල් 6 – 10 ශ්‍රේණි විභාගය දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත. දහම් පාසල් 10,320 ක දරු දැරියන් 10,50,000 ක් පමණ මෙම විභාගය සඳහා සුදුසුකම් ලබා ඇති අතර සියළුම දහම් පාසල් විභාග මධ්‍යස්ථන ලෙසින් ක්‍රියාත්මක කරනු ලබන අතර අධීක්ෂණ කටයුතු ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලවල ගරු ලේඛකාධිකාරී, සභාපති ස්වාමින් වහන්සේලා විසින් සිදුකරනු ලබයි. දහම් පාසල් ශ්‍රේණි විභාගය සම්බන්ධයෙන් කාලසටහන හා උපදෙස් සියළු ම දහම් පාසල් ප්‍රධානාචාර්ය ස්වාමින් වහන්සේලා, මහත්ම මහත්මීන් වෙත යොමු කොට ඇත. 

නිමේෂ තිවංකර සෙනෙවිපාල මහතා සහකාර කොමසාරිස් ධූරයට

වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කළ නිමේෂ තිංවකර සෙනෙවිපාල මහතා 2022 මාර්තු 10 වන දින බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් වරයෙකු ලෙසින් රාජකාරි ආරම්භ කළේය.

සරල සිංහල ත්‍රිපිටක ග්‍රන්ථ 07ක් ජනගත කිරීම

සරල සිංහල ත්‍රිපිටක ග්‍රන්ථ 07ක් ජනගත කිරීම

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ මෙහෙය වීමෙන් සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් පරිවර්තනය කරන ලද ත්‍රිපිටක ග්‍රන්ථ 07ක් ජනගත කිරීම ඊයේ (24) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක මණ්ඩලයේ දිගුවක් ලෙසින් පත් කළ ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය වසර කිහිපයක සිට මෙම ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තන කාර්යය මූලික බුද්ධ භාෂිතයට හානියක් හෝ අර්ථ විපරීතයක් සිදු නොවන අයුරින් පුනරුක්ති රහිතව සිදුකර ඇත.

සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ මාලා අංක 20 සිට 27 දක්වා සිංහල මහානිද්දේස පාළි, සිංහල චූල්ලනිද්දේස පාළි, සිංහල පටිසම්භිදාමග්ගප්පකරණ පාළි - 1, සිංහල පටිසම්භිදාමග්ගප්පකරණ පාළි - 2, සිංහල ථේර අපදාන පාළි - 2, සිංහල ථේරී අපදාන පාළි - 2, සිංහල බුද්ධවංස පාළි හා චරියා පිටක පාළි යන ග්‍රන්ථ 07 මෙලෙස ජනගත කෙරිණි.

ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩල සාමාජික රාජකීය පණ්ඩිත - අග්ගමහා පණ්ඩිත, ශ්‍රී ලංකා අමරපුර  ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද නාහිමි ඇතුළු වැඩම කළ මහා සංඝරත්නයට මෙම ග්‍රන්ථ පිළිගැන්වූයෙමි.

මෙම පරිවර්තන ග්‍රන්ථ 07න් බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ග්‍රන්ථ 33 කින් සංගෘහිත සූත්‍ර පිටකයේ නිමාව සනිටුහන් වේ.

බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලාවේ සිංහල පරිවර්තනය ඉතා නිවැරදි වුව ද සාමාන්‍ය පාඨකයාට එහි බස් වහර ඉතා ගැඹුරු වූ හෙයින් සරල සුගම බසින් එම ග්‍රන්ථ නැවත සම්පාදනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සංෂිප්ත සිංහල ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව එළිදැක්විණි.

ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සභාපති කොළඹ 10 මාලිගාකන්ද විද්‍යෝදය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය

අතිපූජ්‍ය බලන්ගොඩ සෝභිත නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සාමාජික ස්වාමීන් වහන්සේලා වන රාජකීය පණ්ඩිත පූජ්‍ය මැදඋයන්ගොඩ විජයකිත්ති නාහිමි, මහාචාර්ය අතිපූජ්‍ය කිවුලේගෙදර නාරද අනුනාහිමි, මහාචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කළහ.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් (අතිරේක) කේ.පී. සිරිබද්දන, බෞද්ධ කටයුතු කොමසාරිස් වසන්ත ලියනගේ, ත්‍රිපිටක මණ්ඩලයේ ලේකම් කේ.කේ. සුගතපාල යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී රෝහණ සංඝ සභාවේ මහානායක ස්වාමින් වහන්සේගේ අදාහන පූජෝත්සවය හෙට ( 19 )

ශ්‍රී රෝහණ සංඝ සභාවේ මහානායක ස්වාමින් වහන්සේගේ අදාහන පූජෝත්සවය හෙට  ( 19 )

ත්‍රිපිටකාගීශ්වරාචාර්ය විනය කීර්ති ශ්‍රී රතනසාර මහෝපාධ්‍යය මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී  රෝහණ සංඝ සභාවේ අතිගරු මහානායක අතිපුජ්‍ය උඩමලගල මහින්ද නායක ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට ( 19 ) පැවැත්වේ.

ශ්‍රී දේහය  මහජන ගෞරව පිණිස  ගාල්ල, යක්කලමුල්ල  කොට්ටවගම ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ තැන්පත් කොට ඇති අතර අදාහන පූජෝත්සවය 2022.02.19  පස්වරු 3.00 කොට්ටගම  කණ්ෂ්ඨ විදුහල්  ක්‍රීඩාංගනයේදී  සිදුකිරීමට නියමිතය.

“ කුසලස්ස උපසම්පදා ” නවක උපසම්පදා ස්වාමින් වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහන

කුසලස්ස උපසම්පදා ” නවක උපසම්පදා ස්වාමින් වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහන

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන කුසලස්ස උපසම්පදා නවක උපසම්පදා ස්වාමින් වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහනේ 2022 වර්ෂයේ පළමු අදියර 2022.02.06 දින පැවැත්වේ.

පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් 2022.02.06 දින සිට 2022.02.13 දින දක්වා පැවැත්වෙන පුහුණු වැඩසටහනට නවක උපසම්පදාලාභී ස්වාමින් වහන්සේලා 50 ක් පමණ වැඩමකිරීමට නියමිතය.  දින 7 ක් පැවැත්වෙන මෙම පුහුණුව යටතේ නවක උපසම්පදා ස්වාමින් වහන්සේලා විෂයෙහි උපසම්පදාව හා සතර පාරාජිකා, ගිහි පැවිදි සම්බන්ධතාවය, ප්‍රාතිමෝක්ෂ ශික්ෂා හා සංඝාදිසේස ආපත්තිවලින් පිරිසිදුවීම, වස් විසීම හා කඨින චීවර පූජාව, උපෝසථ කර්ම, සූත්‍ර ධර්ම අධ්‍යයනය, විහාර දේවාලගම් පණත පිළිබඳ දැනුවත් කිරීම, විහාර චාරිකාව හා විහාර කළමණාකරණය, මාධ්‍ය භාවිතය හා සන්නිවේදන ක්‍රම භාවිතය, කවි  හා ගාථා පුහුණුව, ධර්ම දේශනා පුහුණුව, විනයානුකෑලව චීවර හා පාත්‍රා සැකසීම, සති භාවනා වැනි සුවිශේෂ මාතෘකා සාකච්ඡා කිරීමට නියමිතය. නිකායත්‍රයම නියෝජනය කරමින් ස්වාමින් වහන්සේ විසින් දේශන හා සාකච්ඡා මෙහෙයවනු ලබන මෙම පුහුණු වැඩසටහන නේවාසික වැඩසටහනකි.

2022.02.06 පෙ.ව. 8.30 සමාරම්භක උත්සවය පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානයේදී

2022.02.10 ප.ව. 5.00 විශේෂ ආශිර්වාද බුද්ධ වන්දනා වැඩසටහනක් පැපිලියාන සුනේත්‍රාදේවි මහා පිරිවෙන් විහාර පරිශ්‍රයේදී

2022.02.13 පෙ.ව. 8.30  සමාප්ති උත්සවය පැවැත්වීමට පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානයේදී

පෙර පොහොය වැඩසටහන

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන පෙර පොහොය ධර්ම දේශනා මාලාවේ 2022 වසරේ සමාරම්භක ධර්ම දේශනය පූජ්‍ය බොරැල්ලේ කෝවිද ස්වාමින් වහන්සේ විසින් අද ( 2022.01.13 ) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී දේශනා කර ලදි.