තොරතුරු හා සංනිවේදන

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ තොරතුරු අංශයෙහි ප්‍රධාන කාර්යය වන්නේ දෙපාර්තමේන්තුව සතු විවිධ තොරතුරු හා සංඛ්‍යා ලේඛන සකස් කිරීම, ඒකරාශී කිරීම, යාවත්කාලීන කිරීමයි. එම තොරතුරු නිසි පරිදි සකස් කොට රාජ්‍ය හා පුද්ගලික අංශය වෙත මුදාහැරීමත් මෙමඟින් සිදු වේ. මෙම අංශය මඟින් සිදු කරනු ලබන කාර්යයන් පහත පරිදි වේ.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනත

විවිධ අවශ්‍යතාවන් සදහා  බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් කරන සියලු දෙනා වෙත 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනතට අනුවතොරතුරු නිකුත් කිරීම සිදුකරනු ලබයි.

තොරතුරු පද්ධතිය හා වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම

බුද්ධ ශාසන අමාත්‍යංශයේ තොරතුරු තාක්ෂණ අංශයේ ද සහාය ඇතිව තොරතුරු කළමනාකරණ දත්ත පද්ධතියක් සකස් කොට ඇති අතර මෙම තොරතුරු කළමනාකරණ දත්ත පද්ධතියට නිසි අයුරින් තොරතුරු ඇතුළත් කිරීම මත විහාරස්ථානය අයත් නිකාය පාර්ශ්වය, වැඩ සිටින ස්වාමින් වහන්සේලා සංඛ්‍යාව, එම ස්වාමින් වහන්සේලා අතරින් සාමණේර හා උපසම්පදා ස්වාමින් වහන්සේලා සංඛ්‍යාව, දහම් පාසල, පිරිවෙන, විහාරස්ථාන සතු විවිධ සමිති සමාගම්, විහාරස්ථානය මඟින් සිදුකරන විවිධ වැඩසටහන් ආදි වශයෙන් විවිධ ඒකක යටතේ සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇත. මෙම තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමේ කටයුතු ද තොරතුරු අංශය මගින් සිදුකරයි.

එසේම බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම ද තොරතුරු අංශය මගින්  සිදු කරයි. බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ dba.gov.lk  වෙබ් අඩවිය මගින් අදාළ තොරතුරු බා ගත කිරීමේහැකියාව ද පවතී.

විහාරස්ථාන තොරතුරු යාවත්කාලීන කිරිම

ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සියලු නිකාය පාර්ශ්වවල විහාරස්ථාන පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීම  සිදු කෙරිණි.

පාලි භාෂා ප්‍රවර්ධන වැඩසටහන

 දහම් පාසල් ක්‍ෂේත්‍රයෙහි පාලි භාෂා දැනුම ඇති ගුරු භවතුන්ගේ පවතින හිඟයට විසඳුමක් ලෙසින් මෙම වැඩසටහන වාර්ෂිකව සිදු කරනු ලබයි. මෙහිදී පාලි භාෂා දැනුමෙන් දහම් පාසල් ගුරුවරයා පෝෂණය කරමින් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි යෙදවීම මෙහි අපේක්ෂිත අරමුණයි. මීට අමතරව ත්‍රිපිටකය පරිශීලනය සඳහා ළැදියාවක් ඇති කිරීම ද මෙමඟින් සිදු වේ.

 පාලි භාෂා දැනුමැති ප්‍රවීණයන් ලවා සකස් කළ විෂය නිර්දේශයක් ඇසුරෙන් සකස් කළ නිබන්ධන පාඨමාලා ලාභීන් වෙත සපයමින් දිවයිනේ දිස්ත්‍රික්ක 15 ක තෝරාගත් මධ්‍යස්ථාන 15 ක දී මෙම පාඨමාලාව සාර්ථකව සිදු කොට විභාගය ද පවත්වන ලදී.

භික්ෂු පුහුණු වැඩසටහන්

සාමණේර ස්වාමින් වහන්සේලාගේ ආකල්ප වර්ධනය කරලීම සඳහා විනයධර ධර්මධර යතිවරයන් වහන්සේලාගේ මගපෙන්වීම මත මෙම භික්ෂු ආකල්ප ප්‍රවර්ධන වැඩසටහන සිදුකරයි. නේවාසික පුහුණු වැඩසටහනක් වශයෙන් තෙදිනක් පුරා පැවැත්වෙන මේ තුළ සම්ප්‍රදායානුකූල පිරිත් දේශනා හා ධර්ම දේශනා පුහුණුව, භාවනා ක්‍රමයන් පිළිබඳ දැනුම ලබා දීම, ශාසනික වත් පිළිවෙත් ප්‍රගුණ කිරීම ආදි භික්ෂූන් වහන්සේ නමකට අවශ්‍ය දැනුම සහ පුහුණුව ලබාදීම සිදුකරයි.

මාධ්‍ය කටයුතු

දෙපාර්තමේන්තුවේ විවිධ වැඩසටහන් සඳහා අවශ්‍ය මාධ්‍ය ප්‍රචාරය ලබාදීම, මාධ්‍ය වෙත තොරතුරු සැපයීම, මාධ්‍ය සාකච්ඡා සංවිධානය කිරීම හා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් තුමාගේ  සුබ පැතුම් පණිවුඩ නිකුත් කිරීම ද සිදුකරනු             ලබයි.

දිනපතා පුවත්පත් වාර්තා කිරිම

දිනපතා පුවත්පත් වලින් අනාවරණය කරන විවිධ වාර්තා සම්බන්ධයෙන්  අවශ්‍ය නීතිමය කටයුතු සඳහා සහාය දීම, වාර්තා තහවුරු කරගැනීම පිණිස විවිධ පාර්ශවයන් වෙතින් වාර්තා ලබාගැනීම සිදුකරයි. විශේෂයෙන් බුදු දහමට නිගරු කරන ආකාරයේ වාර්තා හා ඡායාරූප සම්බන්ධයෙන් කටයුතු කිරීමත්, විහාරස්ථාන හා භික්ෂූන් වහන්සේලා වෙත සිදුවන විවිධ චෝදනා, අපහාස, අපකීර්ති හා ශාසනික අර්බුදකාරී වාර්තා සම්බන්ධයෙන් අතිගරු මහානායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීමත් වාර්තා සැපයීමත් සිදුකරයි.